විද්‍යාලංකාර පිරිවෙනෙහි සිව්වැනි පරිවේනාධිපති වහන්සේ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර ස්වාමීන්ද්‍රයාණන් වන අතර වර්ෂ 1945 සිට 1959 දක්වා කාලය තුළ උන්වහන්සේ සිය පරිවේනාධිපති ධූරය හොබවා ඇත. වර්ෂ 1891 පෙබරවාරි 07 සල්පිටි කෝරලේ කිරිවත්තුඩුවේ දී අච්චිමද්දුමගේ ජෝන් අමරසිංහ අප්පුහාමි යන නමින් උපත ලැබ බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙනෙන් සහ ද්විභාෂා පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා වර්ෂ 1902 ජූනි 10 වෙනි දින හුණුපිටියේ විජයසුන්දරාරාමයේ දී ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද රත්මලානේ ශ්‍රී ධර්මාරාම යන ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලා වෙතින් කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර යන නමින් පැවිද්ද ලැබී ය.
උන්වහන්සේ වර්ෂ 1911 සිට විද්‍යාලංකාර පිරිවෙනේ දී උසස් අධ්‍යාපනය ලබා 1917-1940 අතර කාලය තුළ වීරහේන විද්‍යාරත්න පිරුවෙන්හි උපාචාර්ය හා ප්‍රධානාචාර්ය ධූරවලට ද පත් වූහ. 1940-1945 වර්ෂයන්හි කුරුණෑගල විද්‍යාලංකාර ශාඛා විද්‍යාලයේ අධිපති වශයෙන් ද 1945-1949 දක්වා විද්‍යාලංකාර පරිවේනාධිපති වශයෙන් ද කටයුතු කළහ. උන්වහන්සේ තුළ වූ සැබෑ දක්‍ෂතා නිසාම වර්ෂ 1945 දී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධිය, 1960 දී විද්‍යොදය විශ්වවිද්‍යාලය මඟින් ආගම චක්‍රවර්ති උපාධිය, 1961 දී ලංකා විශ්වවිද්‍යාලය මඟින් සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය ආදී සම්මාන උපාධි රාශියක් ලබා ගත්හ. එසේ ම ලංකා මහාබෝධි සමාගම, සීමාසහිත කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය, ලෝක බෞද්ධ සම්මේලනය (ලංකා ශාඛාව), ශ්‍රී ලංකා පත්‍ර කලාවේදී සංගමය, ශ්‍රී ලංකා එක්සත් භික්‍ෂු මණ්ඩලය, කොළඹ නගරශාලීය බෞද්ධ සංගමය, ලංකා විශ්විද්‍යාලයීය බෞද්ධ සේවක සංගමය, කැලණි මණ්ඩලයේ ගුරු-දෙගුරු සමිති සම්මේලනය, ගොන්ගිතොට විශාඛා කුලඟන සමිතිය, අකුරල ග්‍රාම සංවර්ධන සමිතිය, දක්‍ෂිණ ලංකා ස්‍යාම නිකායික සංඝ සභාව සහ ආයුර්වේද විෂ වෛද්‍ය කැලණි සංගමය වැනි සමිති සමාගම් මෙන්ම සංගම්හි අනුශාසක පදවි ගණනාවක් උන්වහන්සේ විසින් උසුලන ලදි.
උන්වහන්සේ විසින් උම්මග්ග ජාතක විවරණය (1929), පපංචසුදනී-මඡ්ඣිම හා උපරිපණ්ණාසක (1947-1952), පංචතන්ත්‍ර-මිත්‍රභෙද-කල්‍යාණි ටීකා (1949), කඨින වංශය (1950), සදහම් මල් පොකුර, එළු අත්තනගලු විවරණය (1954), හත්තවනගල්ලවිහාරවංශය (1954), පාලි සිංහල පිරිත් පොත (1954), හංස සන්දේශ විවරණය (1955), සැළලිහිණි සන්දේශ විවරණය (1957), සිංහල ථූපවංශ විවරණය (1957), ප්‍රාකෘත භාෂා සාහිත්‍යය (1958), සුශ්‍රැත ශාරීර ව්‍යාඛ්‍යා (1959), කාන්තාව හා සමාජය (1961), ඉතිවුත්තක ව්‍යාඛ්‍යා (1961), පදවිනිස (1965) යන සංශෝධන සහ නිර්මාණාත්මක ග්‍රන්ථ පළ කරන ලදි. උමංදාව, එළු අත්තනගලු වංසය හා ථූපවංසය වූ කලී පැරණි සිංහල ගද්‍ය සාහිත්‍යයේ ඉතා වැදගත් කෘති තුනකි.
විදුලකර එළිය කළ මේ මහානුභාව සම්පන්න පණ්ඩිත රත්නය වර්ෂ 1970 සැප්තැම්බර් 23 වන දින රාත්‍රී 10.45ට මෙලොව හැරපියා සදහට ම දෙනෙත් පියා ගත්හ.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති ලෙස කිරිවත්තඩුවේ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ඉතා වැදගත් වන අතර උන්වහන්සේ පරිහරණය කරන ලද භාණ්ඩ ඉතා වටිනාකමක් කැලණි විශ්වවිද්‍යාලයට එක් කරනු ලබයි. උන්වහන්සේගේ උපාධි සහතික, ගිරය, වටාපත හා අනෙකුත් භාණ්ඩ ප්‍රදර්ශනය සදහා තබනුයේ එම වටිනාකම නිසාවෙනි.