ශ්‍රී ලාංකික ඉතිහාසය පිළිබද සොයා බැලීමේ දී විවිධ කාලයන් වල දී විවිධ ස්ථාන වලින් සොයා ගනු ලැබු කාසි සදහා හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. අප රටේ පැවති ප්‍රාථමික ගණුදෙනු පිළිබද පැරණිත ම සාධක හමු වනුයේ මෙසොලිතික ජන සමාජයෙනි. ක්‍රිස්තු පුර්ව 3 වන සියවස වනවිට කාසි භාවිතයේ ප්රභවය ද සිදු විය.
ශ්‍රී ලංකාවේ භාවිත පැරණිම කාසිය වනුනේ හස් එබු කහාපණ කාසියයි. ක්‍රිස්තු පුර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස දක්වා මේ කාසිය භාවිතයේ පැවති බවට සාධක හමු වේ. ක්‍රිස්තු පුර්ව 2 වන හා ක්‍රිස්තු වර්ෂ 2 වන කාලය අතරතුර ඇතා සහ ස්වස්ති කාසී හා ලක්ෂ්මි කාසිත්, ක්‍රිස්තු වර්ෂ 3-4 කාලයේ සිංහ හා වෘෂභ කාසිය යනාදී කාසී භාවිත වී ඇති බැව් පෙනේ. ක්‍රිස්තු වර්ෂ 7-8 සියවස් වල දී ශ්‍රී ලංකාවේ කාසී නිෂ්පාදනයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙතෙක් පැවති ලෝහය වෙනුවට රන් ලෝහය භාවිත කරමින් කාසී නිර්මාණය කොට ඇත.
පොළොන්නරු යුගයේ ආරම්භයේ සිට දඹදෙණි යුගය අවසානය දක්වා නිෂ්පාදනය කළ කාසි වර්තමානයේ මධ්‍යකාලීන තඹ මසු කාසී නමින් හදුන්වයි. රන් කහවණුවේ සංකේත අනුසාරයෙන් නිෂ්පාදනය කළ මෙම කාසීවල ප්රතිමුඛයේ අර්ධ නාගරී අක්ෂරයෙන් කාසි නිපද වු පාලකයාගේ නම සදහන් කර ඇත. ඒ් අනුව පළමුවන විජයබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, චෝඩාගංගදේව, ලීලාවතී, සාහසමල්ල, ධර්මාශෝක දේව සහ පළමුවන භුවනෙකබාහු යන රජවරුන්ගේ කාසී හමුවේ.
කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ කාසි එකතුව කාසි 400කින් පමණ සමන්විත වන අතර එහි අනුරාධපුර, පොළොන්නරු, කෝට්ටේ යන යුගයන්ට මෙන් ම ලන්දේසී, ඉංග්‍රීසි යටත් විජිත සමයට අයත් කාසී වලින් යුක්ත වේ.