විද්‍යාලංකාර පිරිවෙනෙහි පස්වැනි පරිවේනාධිපති ලෙස කටයුතු කරනු ලැබූයේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම ස්වාමීන්ද්‍රයාණන් විසින් ය. පැවිදි දිවියට පිවිසීමෙන් අනතුරුව නියමිත කල් එළඹි පසු වර්ෂ 1928 දී මල්වතු මහාවිහාරයීය උපෝසථාගාරයේ දී අති උතුම් උපසම්පදාව ලබා ගත් උන්වහන්සේ එම වර්ෂයේ දී ම විද්‍යාලංකාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු ලෙස ද කටයුතු කිරීමට අවස්ථාව උදා කර ගත්හ.
වර්ෂ 1959 අගෝස්තු මස 15 වැනි දින තුන් නිකායට ම අයත් මහා සංඝයා වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනට වැඩම කරවා ආරම්භ කරන ලද ත්‍රිපිටක මහා ධර්ම සංගීතිය විද්‍යාලංකාර පිරිවෙන් ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. වර්ෂ 1959 දී විද්‍යොදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත් වීමත් සමඟ පිරිවෙනට ප්‍රශ්නයක් මතු විය. එනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඒ වන විට සුදුසුකම් නොලබා ඉතිරි වූ ශිෂ්‍යයෝ සිය ගණනෙකි. එහිදී යක්කඩුවේ ප්‍රඥාරාම හිමිට පිරිවෙනෙහි ඉතිරි වූ එම සිසුන් සඳහා අධ්‍යාපන සහ නේවාසික පහසුකම් සැලැස්වීමට සිදු විය. එම නිසා විද්‍යාලංකාර පිරිවෙන ආරක්‍ෂා කිරීමේත්, පෝෂණය කිරීමේත් මහත් වගකීම භාර වූයේ යක්කඩුවේ හිමියන්ට ය.
වර්ෂ 1975 දී විද්‍යාලංකාරයට වසර 100 සපිරෙන මොහොතේ එවකට පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයෙන් විදුලකර මුල් භූමිය නැවතත් තම අයිතියට පවරා ගන්නට යක්කඩුවේ හිමි ඇතුළු විදුලකර භික්‍ෂු පිරිසට හැකි විය.
ශාස්ත්‍රීයමය වශයෙන් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ මෙහෙය ද අනුපමේය ය. යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ මහා පාණ්ඩිත්වය සංස්කෘතයට පමණක් සීමා නොවීය. උන්වහන්සේ පාලි සහ සිංහල භාෂා සාහිත්‍යය විෂයයන් කෙරෙහි ද දැක්වූ ප්‍රවීනත්වය පුදුම සහගතය.
වර්ෂ 1986 පෙබරවාරි 1986 මාර්තු 1 වැනිදා කියා නිම කළ නොහැකි අසමසම වූත්, අමිල වූත් සේවයක් ඉටු කළ මේ මහා පඬිරුවන රට දැයට සියලු වගකීම් ඉටු කොට සිය දිවි ගමනෙහි හැත්තෑ නව වන විය පසුකරත් ම සදහටම දෙනෙත් පියා ගත්තේ ය.
උන්වහන්සේගේ මතකයන් ආවර්ජනය සදහා උන්වහන්සේ පරිහරණය කරන ලද සිවුර, අදනය, පාවහන් යුගල, පිගන්, ගිරය, කණ්නාඩි යුගලයන් හා උන් වහන්සේගේ අත් අකුරු මෙහි දී ප්‍රදර්ශනය කෙරේ.